Saturday, 12 May 2018

මිහිකත ඔබේය.

⁣සෞරග්‍රහ මණ්ඩලය තුල දැනට සොයාගෙන ඇති පරිදී ජීවය පවතින එකම ග්‍රහලෝව පෘථිවිය යි. පෘථිවි මහී කාන්තාව අපූර්වත්වයෙන් අනූන වු ජෛව විවිධත්වයක් මේ විසල් ලොව තුල මවා ඇත. 


මේ මිහිකතහි මීට වසර මිලියන පන්සියයකටත් පෙරාතුව පේලියොසොයික යුගයේදී මුහුදු පතුල තුල ජීවය පහල වූවා යැයි විද්වතුන් අනුමාන කරයි. ඉන් පසුව ජීව පරිණාමයත් සමඟ ජීවය ගොඩබිමහිද ව්‍යාප්තව විය.
මීට වසර මිලියන 200-70 අතර කාලය  ඩයිනෝසරයන් රජයන කාලයක් විය. එය අප ජුරාසික යුගය යැයි හදුන්වයි.


 එනමුත් මිහිතලය අරක් ගෙන සිටි මේ විශාල උරගයන් රංචු පිටින් එකවර මිය යන්නට විය. මෙයට හේතුව තවමත් අවිනිශ්චිතය. බොහෝ අය විශ්වාස කරනුයේ මොවුන් උල්කාපායක් පෘතුවියෙහි ගැටීම නිසා වෙනස් වු පාරිසරික තත්ත්වයට මුහුන දීමට නොහැකිව මිය ගිය බවයි. එනමුත් එම කරුණ ද විවාදයට බදුන් වේ. 

ඉන් පසුව පැමිණුනේ ක්ෂීරපායින් රජයන යුගය යි. අද දක්වා පවතිවුයේ ඔවුන්ගේ යුගයයි. මිනිසා යනු ද ක්ෂීරපායි සත්වයකි. 

මානව පරිනාමය ගත් කල්හි එය මීට වසර මිලියන 26-11 අතර මයෝසීන යුගටයේදී ඇති විය. ඔස්ට්‍රලොපිතකස් (Australopithecus) හෙවත් මිනිස් - ඒප් (man-ape) වරයා මිනිස් පරපුරේ මුල් පුරුක විය.
එතන් පටන් ඇරඹි මානව පරිනාමය හෝමෝ හැබිලස්, හෝමෝ ඉරෙක්ටස්, නියැන්ඩර්තාල් පසුකරවිත් අද වන විට හෝමෝ සේපියන්ස් හෙවත් වර්තමාන මානවයා බිහි කර ඇත. එනමුත් මානව පරිනාමය මෙතැන් සිට කොයිබදට විකාශය වේ දැයි කිසිවෙකුට අනාවැකි පල කල නොහැක.
එය කෙසේ වෙතත් මේ මිහිකත තුල වත්මනේ රජ යන්නේ අපිය. ⁣එසේම මෙහි බාරකරුවන් වන්නේද අපිය. එමෙන්ම මෙහි ආරක්ෂකයින් වන්නේද අපිය. ඒ නිසා මේ මිහිකත මෑණියන් සුරකීම අප කාගෙත් යුතුකමකි.